Thursday, January 8, 2015

අම්මා අම්මා ඔබ කොහිද අම්මා , මටම ආදරය දී සැගවුනිද අම්මා.....



1.

සතුටෙහි අදුරු සෙවනැලි ගේ තුල............රන්දා
වැතිරී පාලු දොම්නස් කළුවර..................බන්දා
බියගුළු අරුම සිතිවිලි හද වෙත...............රන්දා
අද ගේ පාලු විමනකි මව් නැති...............හින්දා

2.

වෙනදා ගෙදර එනවිට දොරකඩහි...........බැස
හිස අත තබා පිළිගෙන ආදරින...............බස
ඇඟ පත වෙහෙස යේ,ඕ සිසිලසින.........බැස
කිම දෛවයත් වුයේ මේ තරම්...............වස

3.

ගේ පසුපසෙහි හිස් අහසට දෙනෙත.......අයා
සුසුමන් හරී නළලෙහි නෙත් යොමන්.....පියා
කුස්සියෙ මුලක පැදුරෙකි අඩ කඩක්......වියා
මව් නුඹ කොහිද සිරියාවද දෙනෙත.......පියා

4.

සිත් තැවුලෙන්ය වතුසුදු ගස් මිදුලෙ.....සැදී
අත් වූ ඉරණමෙන් ඕ සුදු වියන්...........අදී
රත් නොවෙනා මුට්ටි අද පිල මතම.....බැඳී
ලත් වියසනින් වියපත් සෝ සුසුම්........අදී

5.

මව් නැති පාලු හරිනට සෝ බරිත..........පියා
ගොරහැඩි වලන් ගෙන ඇත බත් වේලා..උයා
අත් වුවත් සවිය වෙත,දිවි ගමන...........වියා
සැනසෙනු බැරිය එහි නැත මව් රසය...සොයා

6.

වෙනදා දමන බත් කෑමට එන...........ලේනා
විහිදා නුවන් පුදුමෙන කැරකෙනු........පේනා
අම්මා අපට නැත අද අසරණ............ලේනා
ගොස් අරගෙන වරෙව් සෝ මැඩුමට...සේනා

7.

නෙක මල් රටා ඇඳි අම්මා සතුවූ..........රෙදී
දුක නෙතු අගින් ඉරණම් සෝ සුසුම්.......අදී
දුහුවිලි රැඳුනු මුළුතැන්ගෙයි අතර..........රැඳී
මැසි මකුළුවන් තම ගෙත්තම් තුටින.......අදී

8.

බුදු පිළිමයද මත පර මල් වියන්............පෙනී
ඕ නැති අඳුර පාළුව කිටියාද..................දනී
සිරියා රැජින හැරගිය දරු පවුල..............තනී
මේ මව් නොමැති ගෙය,කඳ නැති බිළිඳ...වැනී




No comments:

Post a Comment