Saturday, June 13, 2015

මංගල ගමන ගිය සොහොයුරියට

+++මංගල ගමන ගිය සොහොයුරියට+++++
++++++++++++++++++++++

විදිනෙමි සුවය මව් පියනගෙ සුවඳ ළඟ
එනමුදු යමක් ඇත අබියස කරන දඟ
පසුපස ඇදේ සැමවිට මා යනෙන මග
මතකෙට නැගේ නිති සොහොයුරි  නුඹගෙ වග

සොම්නස සතුට සැනසුම නෙතු ළඟ රන්දා
සම්පත් විලස නිවසෙහි තුටු දද බැන්දා
නිම් නැති පෙමින් බැදි රන් සුරාලියො කැන්දා
අම්මා තාත්තා හිනැහුනි අප හින්දා

අත් අල්ලා බැඳුනු ආදරයෙන් සිතෙහි
සිත් මල් පුබුද කෙළිලොල් නිති දිවි පෙතෙහි
නෙත් කුල්මතින් මව් පිය ආදර විලෙහි
මත් වුනි නුඹත් මා ආදරයෙන් හදෙහි

යව්වන වයස හිමිහිට ඉගි බිගි කෙරුණි
සුන්දර නුඹට මිතුරෙකු සහයට ඇදිනි
කල් යල් යත්ම මිතු දම පෙමකට හැරිණි
මල් සිත නුඹේ පෙම් බඹරුට වහ වැටිණි

මුතු මාලයක් නුඹ ගෙලවට කර බන්දා
කුමරුන් ඇවිත් පෙම් නුඹ ගෙනගොස් කැන්දා
තුටු විල එදා සිටියද සැම දද බන්දා
යන විට නුඹත් හද හොරැහින් ඉකි බින්දා

යන විට නුඹගෙ පා යුග මදකට සැලුනා
නෙතු අප දෙදෙන අවසන් වාරෙට ගැටුනා
ඉපදුනු දින පටන් බැදි සෙනිහස දිලුනා
නොදැනිම අපට අප නෙතු කඳුලින් පිරුනා

නොහඩනු  මෙලෙස යනු මග දිරි දෑත මතින්
සිනහෙනු සොයුරි පෙරමග නෙතු යොමන් ඉතින්
උණුසුම සුවය ඇත නුඹ වෙත කුමරු වෙතින්
යනු මැවු ලොවට නැගුමට දිවි සිනා වතින්

සුන්දර ලපටි කෙළිලොල් දිවි කෙරුණි නිමා
යන්නට වුනා නුඹ හට සොහොයුරිය දමා
මන්දිර පෙමින් බැඳි මුත් කඳුලක්ම තමා
මින් පසු නිදන්නේ කා උනුසුමෙද මෙමා

රොන් උරනා කලෙක සමනලයෙකු මලෙක
මන් සිහිනයෙම ගැලුනෙමි ගෙවි සැම කලෙක
පින් මදි කමින් තනිවිමි සොහොයුරු පෙමක
ඉන් හඩනා සිතට සැනසුම දෙනු හනික

සිතුවිලි නතර වී සියොලග කදුළු කැට
ඔබ ලග නතර වී සෙනෙහස මවන කොට
නුඹ සතුටින්ය යැයි සිත මගෙ කියනකොට
සැනසුම සිතට  ඒ දුක සුනු විසුනු කොට

සව්සිරි ඉතිර නුඹ සදනා කැදැල්ලට
මතු දියුණුව එන්න දිවි මග හබන්නට
දිරියෙන් නැගෙනු පැතු සුර ලොව දකින්නට
නුදුරෙම එන්න මා මව් පිය බලන්නට

රන් රස ඉතිරි දිවියෙහි නුදුරුම කලෙක
සඳ කුමරා සමග දෑගිලි බැඳ පෙමක
ලැමැදට තුරුළු කර කිරි කැටියෙක් දිනෙක
මන් මග බලමි එනතුරු නුඹ හනි හනික