Sunday, January 10, 2016

මගේ අය....



මැකීගෙන යන විටදි තරු පොදි
ගගන සලිතව රුදුරු ගිනි මැද
නොයන්නට පිය නැවත පසුපස
සිහින් ඉකි හඩ පැතිරුනා..

සදුට පෙම් බැඳි සියක් ගණනක්
ලපටි තරු වැල් මලානික වී
සිතට පැනනැගි අමිල අදරින්
සිංහ තේජස පැතිරුවා...

වියූ තරුවැල් සහෝදරයින්
කැඩී යන්නට නියම වූයෙන්
රුදුරු වැටකඩු පතිත වී සැම
එකින් එක තරු මැලවුනා...

ඇගිලි ගුලිකර තදින් අල්ලා
වැටෙන තරු පොදි වැරෙන් අල්ලා
එකම ගමනට නුඹත් අයිතියි
වරෙන් යන්නට නැගිටලා ...

ගෙවාගෙන ආ සොඳුරු මංපෙත
දවාලන්නට කොහිද බල තොට
සසර බැම්මන් මතින් එක්වුණු
සොයුරු සොයුරන් එක්වුණා...

දිලෙන තරු පොඩි එකතු වුවයි
නැගෙන ඉකි හඬ තෙදට හැරුනයි
පුරා පෝ සඳු නැගෙන විටදී
සිංහ පැටවුන් පිබිදුනා..