Monday, August 1, 2016

විරු සිසු නුඹට දින දින මල් පැලදේවා.........


***********විරු සිසු නුඹට දින දින මල් .............පැලදේවා********************


පිදු එක් දිවියකින් දහසක් නැගෙනු    කොට
සුදු වැලි මතින් පෙනෙනා දරු වෙරල    පිට
බිඳු බිඳු දියෙන් තෙමෙමින් දා පෙරෙන  විට
රුදු කටු ඉපල් නැසුවා ගෙන කඳුළු      කැට

දෑසට ඉනූ කඳුළැලි වැගිරිනු            පෙරුණු
කෑනොගැහුවද පිසිමින සෙමිහිට        සිතුනු
සිතමින අදර පවුලම එක ලෙය          බැඳුනු
තව දිරි මතින් නැගිටුණි සිසු දිර        කැවුණු


පුරපස සඳක සිසිලස මුදු ගුණය               දිලී
සෙනෙහස තුරුළු කොට පිය උනුසුමක වෙලී
හිරු රැස හෙලා ඇවිදින් දුක් සයුරෙ         ගිලී
මදහස  දුර ගියා  සොහොයුරු හටම       සැලී


තම මතු දිවිය හෙට එන සොහොයුරුට    පිදී
යටවෙන මිතුරු රූ දැක හද රිදුම්              දිදී
පොරකයටද යන්නට දිරි හදින               බැදී
රන් ලෙහි සිතුම් ලියුමට මේ පිටුව            මදී

නුඹ හෙලු කඳුළු දා මතු සිසු දිරි             වේවා
උපදින සසර දෙටු පුත් වෙස්            රැකදේවා
විරු සිසු නුඹට දින දින මල්            පැලදේවා
මොරටුවෙ අපෙන් පිදි විරු මල්       සැරැදේවා





Thursday, June 23, 2016

(අ) කාලයේ කවි


පවතින සියලු බාධක කඩ තිමිර ඉරා
අවසන දකින්නට පෙර කවි රසය උරා
ඉවසා දරා කෙනෙහිලි රුදු ගමන පුරා
කවියට පොවනු පන යලි නුඹ දිවිය සොරා

සුපිපෙන පැතුම් මල් ගොන්නකි හදෙහි කොනේ
පොපියන සිතුම් දහසක් සිත පතුලෙ පෙනේ
විකසිත කරන්නට නොහැකිය නමුදු අනේ
රුදු වැට කඩුලු පියවර ඉදිරියෙහි පෙනේ

ගත වුනු දවස දෙස ආපසු බලනු හැරී
සිතු පැතු පැතුම් ඒ ලෙස නිමවෙනිද කෙරී
නැති නම් වරද කොතැනකදයි රැගෙන දිරී
නව පා තබනු පිසදා දා කඳුළු පෙරී

සඳ නැති වුනත් අහසේ පොඩි රුවන්  කැට
පතුරයි එලිය ගනදුර ලොව මකන්නට
ගතහොත් දිරිය දිවි ගනදුර නිවන්නට
බැරි නැත අදිටනයි ඕනෑ තිබෙන්නට

දැන් මතු වුවත් බිය දුක සිතිවිලි බෝම
සුන් කර ගත යුතුද නුඹ අදිටන මේම
මන්දිර නැති වුවත් රජ සැප දෙන තාම
පින් මල් තිබේ නුඹ හට දිරි දෙන බෝම







Sunday, January 10, 2016

මගේ අය....



මැකීගෙන යන විටදි තරු පොදි
ගගන සලිතව රුදුරු ගිනි මැද
නොයන්නට පිය නැවත පසුපස
සිහින් ඉකි හඩ පැතිරුනා..

සදුට පෙම් බැඳි සියක් ගණනක්
ලපටි තරු වැල් මලානික වී
සිතට පැනනැගි අමිල අදරින්
සිංහ තේජස පැතිරුවා...

වියූ තරුවැල් සහෝදරයින්
කැඩී යන්නට නියම වූයෙන්
රුදුරු වැටකඩු පතිත වී සැම
එකින් එක තරු මැලවුනා...

ඇගිලි ගුලිකර තදින් අල්ලා
වැටෙන තරු පොදි වැරෙන් අල්ලා
එකම ගමනට නුඹත් අයිතියි
වරෙන් යන්නට නැගිටලා ...

ගෙවාගෙන ආ සොඳුරු මංපෙත
දවාලන්නට කොහිද බල තොට
සසර බැම්මන් මතින් එක්වුණු
සොයුරු සොයුරන් එක්වුණා...

දිලෙන තරු පොඩි එකතු වුවයි
නැගෙන ඉකි හඬ තෙදට හැරුනයි
පුරා පෝ සඳු නැගෙන විටදී
සිංහ පැටවුන් පිබිදුනා..