Friday, January 12, 2024

සිසිර කුමරුගේ ප්‍රේමණීයම දින කිහිපයට ~.~

සීතල සියුම් සමයකි රුදු සැරෙන මිදී 

උණු කිරි කෝපි සුසුවද මදනලෙහි ඇදී  

යන්නට මතින් සුර සිරි මිහිමතින මිදී

සිසිරෙහි කුමරු වෙත ලියැවිණි මෙකව පැදී... 


ආසිරි කැවුණු මල් ලෙස හිම පියලි සලා 

මිහිලිය වටම දිලිසෙන සුදු පලස් එලා

මද නල එක්ව තාලෙට අම රසය ගලා 

ඔහු ඒ සැනින් මිහිලොව සුර ලොවක් කලා...   


මිහිලිය තුටින් පොරවා ලද සුදු සේද

තුරුලිය මතින් හැඩ ලෙස අතුරායාද

කුමරුනි නුඹත් ඇගෙ කෝමල දුටුවාද 

ඈ මේ විලස කුමකට සැරසෙනවාද.. 


හිරු දෙව් හිමින් ඕ අතපය හිරි හැරලා

ඈ සුදු සේල සිප ගන්නට වෙර දරලා 

රැස් වැටි සේල පිණි හා දිලිසෙනු දැනිලා

ඇගෙ හද විලම නිකළැල් අදරින් පිරිලා... 


කුමරුත් මිහිලියත් රස පෙම් කතාවක 

කොඳ මල් පිදුණු ලොව ඉමිහිරි සිනාවක 

දිලිසෙන ලොවම සතුටින් ගී ලතාවක

හැඟුමන් මගෙත් දැන් අමුතුම රටාවක... 













Figures: 2023 Winter collection from my lens!.~ 😊

Saturday, January 6, 2024

ආලය වන් මනුදම් සුරකිම් නිති, එතැනය සුර ලොව නම්..~ 💛


සුපිපෙන පැතුම් මල් ගොන්නක් හදෙහි කොනේ

පොපියන සිතුම් දහසක් සිත පතුලෙ පෙනේ

විකසිත වන්න වෙර දරනා අයුරු දැනේ 

රුදු වැට කඩුලු උන් මග ඉදිරියෙහි පෙනේ


සඳ නැති වුනත් අහසෙහි පොඩි රුවන් කැට

පතුරයි එලිය ලොව ගනඳුර මකන්නට

ලැබුනොත් දිරිය උන් යනු ඇත දිනන්නට

අත හිත දෙමුද යන මග එලි කරන්නට


දැන් මතු වුවත් දුක් බිය සිතිවිලි බෝම

මන්දිර නැති වුවත් සිරි සැප දෙන තාම

පින් මල් තිබේ නුඹ හට දිරි දෙන පේම

යන්නට පය තියන්  හිත දැඩි කර මේම 

Figure: In the new spirit of the new year, WKKV officially inaugurated the construction and renovation works of the computer laboratory with the kind donations received so far.!
~ 2024-01-05 ~