Thursday, January 8, 2015

~~..හෙළ මුතුන් මිත්තන්ට..~~


1.
නිල් අතු රිකිලි මැද පහනෙහි සිළු.........අතර
ගල් රුපු යෝධ බල රැඳි නිමැයුම්.........සතර
විල් වැව් තඩග හෙළ කම් ලිය මත......වැතිර
ඇල්මෙන් කියයි හෙළ මුතුනගෙ වැර....පවර


2.
සුමටව පියවි බව දන්වන පරිදි.............ඉතා
අමරස හදට මුසුකර හද සිසිල.............ඔතා
රමණිවැ මැවූ හෙළ රූ සහ අඟන.........ලතා
සම වෙන උසස් අන් නිමැයුම් කවර.....වෙතා


3.
හද රැදි වෙසෙස් රූ වෙර පන්හිඳෙන.......ඔපා
සදවා විසල් මන්දිර ගල් කුලුණු...........කපා
වැඳ වැටි සිහල සාහිත කෙත මුලින.......දෙපා
රද නුඹ දරුව ඔබ වෙද යම් කලෙක.......අපා


4.
රන්සුණු විලස හෙළමින නිති දා...........බින්දු
පන්නර රැගෙන පෙම ආගම වෙත........රැන්දු
නන් දස්කමින් හද රූ ගල් මත.............ඉන්දු
වන් සිහ දෑත ඇති අය වෙද නර...........නින්දු


5.
මහමෙව්නා උයන ලෝවා මහ...............පාය
අහසට විහිදි රන්මැලි සහ අබ...............ගිරිය
දහසක් වැදුම් දෙන සිරි මහ බෝ...........සිරිය
නිහඩව කියයි හෙළ සිහ මුතු රණ..........දිරිය


6.
මනහර අබකලා ගිරිතල් වැව්................ගැඹුර
සනසන දෙඇස් රුපු බල පැරකුම්...........සයුර
වන දෙව් ලියන් මත සැඟවුණු නදි..........සතර
රණ අබිමන පොවයි හෙළ දිරි කැටි.........පවර


7.
රන් වන් පියන් වැනි මුව පිරි.............පියකරුව
පෙන්වා ලඳුන හිමබර ගත..............නිර්ලොබව
රන්පුතු කසුප් රදුනගෙ සුර පුර............කෙරුව
වන් නොම දෙවැනි හෙළ සිහ අත් දිරි.....වැරුව


8.
වියලුන තමන් හද කර රණ දිරි...............අවිය
සිය සාහිත මගෙහි යොමු කර ගී............කවිය
සියපත් පුබුද කවි රස අන් තුල...............දිවිය
කය නොම වෙතත් ඇත ගත් දිරි දෙන.....සවිය


9.
පටු රළු කැළැල් දෙපතුල් රණ බිමෙහි.......තියා
කටුකව සවි බලෙන් අත රණ කඩුව.........වයා
දෙටු සැප මතින ගැති සළු ඉරවනට.........නියා
තටු නිදහසෙහි මැවු හෙළ පුතු රජුන්........දයා


10.
විස්මිත දියුණු මග වෙත නව මිහිර........පොවා
දෙස් පර දෙසේ තේජස් සිහ උරුම..........කවා
ලස්සන මනසෙ ඇඳි රූ නෙත් හමුවෙ......මවා
ගොස් නුඹ වෙතට සිහ පවතින කලට......පවා


11.
සුරගන මල් පියලි වල රස සිහින.............උකා
සර මල් පියලි වල දුහුවිලි පියස...............මකා
කර සැම එක්ව බැඳ වැල් මුතු පැහැය......නෙකා
පෙර අප මුතුන් පලදමු බැති අදර ...........උකා



No comments:

Post a Comment