Friday, September 20, 2024

පියුම් දහසක් පිපුණු පොකුණක් හමුවුනොත් මඟ රැදෙන්න...~..❤❤

වැටුනට වැහි කෝඩ ඉදහිට තෙමෙන්නට 

පොළොවට වියලි පණ නොතිබිණි දැනෙන්නට

හදකට මිහිරි නැති මුත් යලි හඩන්නට  

සිතයට සැඟවු මල් ගෙන එමි පිපෙන්නට..... 


සුසුවඳ කැවුණු කොඳ මල් පොදි මටද හොරා

හෙමිහිට හදෙහි පතුලම වෙලගමින සොරා  

මගෙ හද විලම අමුතුම සතුටකින පුරා

සමුදුරු ගෙවා මුදු පැතුමක් ජනිත කරා.... 

සේයා රූ: හැඟුම් ගොඩකට පන දෙමින්, 
සැතපුම් දහස් ගණනක දුර ඉදන්,
ජිවිතේ පළමු වරට මා වෙනුවෙන් කෙනෙක් ගොඩක් මහන්සියෙන් දුන්,
වසන්තයේ ලස්සනම රෝස පාට පිරුණු, 
ලස්සනම ලස්සන,
ඒ වටිනාම මල් පොකුර!
Poem(s) to be continued! ❤
(2024-09-15)



Monday, September 16, 2024

මව් පිය රදුනි පින් බුදු බව ලබන්නට...~...💗💗

සඳ දිය සිසිල ගෙන දරුනගෙ මුහුණු දොවා

සෙනෙහස් විලෙහි සුපියුම් සුසුවඳම කවා

අප රජ කරන්නට දහදිය මුගුරු දවා

මව් පිය ගැන ගොතමි කව දිවි සුසුම හොවා...


දස මස කුසෙහි හොවමින් දුක් ගිනි මතෙහි

මුලු දිවි කර තබා ගත වියවුල් විලෙහි 

බර දුනු අවිද පටලා සියුමැලි අතෙහි

කඳුලින් දිනුම සෙව්වා බලයෙනි ලෙයෙහි...


සයුරක් තරම් විදිමින් තද දුක් ගින්න 

පවුරක් වෙමින් දිවි බර උහුලා ගන්න

සවියත් ඔවා දී හරි මග තුල යන්න

කඳුලක් නොවිණි ආ මග දෙදෙනම දුන්න...


අප දිවි සදන්නට නින්දා දැරුවෝය 

අප කුස පිරෙන්නට බඩගිනි දැරුවෝය 

අප ලොව මවන්නට රෑ නිදි වරුවෝය 

අප රජ කරන්නට පෙරුමන් පිරුවෝය... 


ගොරවන විදුලි කොටවන රුදු රැය වලදී

ලැම වෙත තදකරන් අප සැනසුම  දිරිදී

පිරිමැද සෙමින හිස වැටි කදුලැලි පිසදී

වහලක් වුනා නුඹ කැඩි වහලට පිටදී...


කලුවර රැඳුනු දිවිතර දිරියෙන් දිව්වා 

කලුවර නොවන දිවි අප වෙනුවෙන් සෙව්වා 

ලද දිවි ලෙයද මස් දරු වෙනුවෙන් ගෙව්වා 

දරනා කිරුළු පුතු මතු සිහිනෙන් මැව්වා... 


දුන් දිවි කොහොම අප රන් මිල කරන්නට

පෙන්වූ දිවිය යමි නුඹ රජ කරන්නට

ඉඩ නැත තවත් අප වෙනුවෙන් හඩන්නට 

මව් පිය රදුනි පින් බුදු බව ලබන්නට...

සේයා රූ: අපි එනකන් මඟ බලන් ඉන්න,
අපේ අම්මයි තාත්තයි!💗💗
(2023 - 09 -12)  




Monday, September 9, 2024

මටත් කවියක් ලියන්න..~.. ❤❤

නොයමි තව දුර ඈත තනියම

නැවුම් පැතුමකි පිපෙන්න  

සඳවතිය මේ කවිය පබැදුණු 

සෙමින් ඔහු වෙත කියන්න 


අපේ මග දිග තුරුලතාවන් 

මලින් බර වනු දකින්න 

පැතුම් මල් වල සුපෙම් කවියක්

සෙමින් අරබමු ගොතන්න 

පියුම් දහසක් කුමට මට ඇත 

නුඹේ සෙවනෙහි රැදෙන්න 

රජුනි මට හැක දිවිතුරාවට 

සෙනිහසේ කවි ලියන්න 


සුසුම් නැති තුටු මලින් සැරසුණු

මගක් සිත්තම් කරන්න  

යමුද දෑගිලි බැඳී හෙමිහිට

සිහින ලොව පද ගොතන්න...!! ~💗

සේයා රූ: ජීවිතයේ අවැසිම මොහොතේ, 
හිතුවාටත් වඩා ගොඩක් ලොකුවට,
මහමෙරක් සේම සෙනිහසින් බැඳෙමින්,
ලස්සන හේමන්තයේ ලස්සනම පාටින්,
මගේ ජීවිතයත් පාට කර,   
දිවි තෙරහි තිබු ලොකුම හිස් තැන පිරවූ,
ඒ විශාලම හදවතට..💗..~
(Transitioning Fall with it's awesome colors!)   

Tuesday, August 27, 2024

වරෙන් හීන් සැරේ රිදී වලාවේ..🎵..~..~..

කවුළුව තුලින් සුදු සඳ රැස් ගෙට වැදිලා

කළුවර කපා බිම විසිතුරු රූ ඇදිලා

හද විල නිසංසල පැතුමකි දිග හැරිලා 

කවිසිත මගේ අද මට නොදැනිම පිපිලා... 


කෙහෙරැලි සෙමින් නළවා ගී ලතාවෙන 

මද නල හොරෙන් මා ගත කිති කවාගෙන

ඕ ගෙන පැමිණි මල් සුවඳත් බෙදාගෙන 

රිසි සේ ඇදෙයි සැඟවුණු මල් සොයාගෙන....

 

තරු පොදි සුපුන් සඳ වටකර රටා අදී 

සුදු හිම වලා යයි කම්මැලි කමින ඇදී    

කෝ සඳ සාවි අන්නර ඇය සුවට නිදී

මේ සිරි විඳින්නට මට එක රැයක් මදී....  


තුරු හිස මුදුන් සඳ කිරණෙහි නැහැවෙනවා

රෑ මනමාලියන් උණුසුමෙ සිනැහෙනවා  

අමුතුම සිතුම් දැන් හද විල කළඹනවා 

මට නුඹ ගැනම කවි ලියුමට සිත දෙනවා....


සඳ දිය වැටුණු මිදුලෙහි තුරු සෙවනැල්ලේ

මුළු ලොව නිහඩ විට දඟ කල පවනැල්ලේ

දෑඟිලි බැඳන් හෙමිහිට අපි නිවහැල්ලේ 

මේ සිරි විඳිමු දවසක පෙම් සැනසිල්ලේ....


කොඳුරන රැහැයියනි මදකට නවතින්න  

සැඟවෙන හා පැටව් මෙදෙසට දුව එන්න 

ඇදියන වලාවක නැග හනිකට ඔන්න         

මම දෙන පැතුම ගෙන සමුදුරු හඹයන්න....🖤🖤🖤


සුනිල් ශාන්තයන්ගේ 'වරෙන් හීන් සැරේ' ගීතයට උපහාරයක්ම වේවා! 🌃🙏

(මේ කවි පෙලට ඒ නම යෙදුවේ යම්කිසි ව්‍යංගයකටයි. උපුටා ගැනීමක් ලෙස නොසිතන්න!🙃😇)










සේයා රූ: මා තවත් දිගු වූවා නම් කියා සිතන, 

නමුත් දිගු වනවාට අකමැතිම, 

නිහඩ, සුන්දරම, හුදකලා වූ, 

විශ්වයේ සුන්දරම රටා මවන රාත්‍රීන්!

(Night captures from my lens)     




Saturday, August 17, 2024

ලියා දෙමි මුළු හදින් "ආදරෙයි උතුරන්න!" ~ ❣️

(සීතල සුළං පොදක අමුණා එවන්නම්...💌, කාල මේඝම්බරගේ තාලෙන්...~💕) 


අවාරෙක පිපෙන කොඳ මල් සුවඳ විඳගන්න

බලා ඉමි එන තුරුම නුඹේ ළඟ හිනැහෙන්න

හමා යන මද සුළඟ දැන් ඉතින් අහගන්න

ලියා දෙන පණිවිඩය ඔහු වෙතට ගෙනියන්න.. 


බිඳී ගිය පෙම් සුසුම් එකින් එක පනගන්න

රැඳී ඇති මතක පොදි වලට දැන් සමුදෙන්න

ඇදී එන සිහින වෙත තව වරක් ඉඩදෙන්න

අමාවක සඳ කුමරි උණුසුමින් සිපගන්න.. 


විඩාබර සිත සියුම් වචනෙකින් සනසන්න

මලානික මුව කුසුම් දහසකින් පුබුදන්න

සදා සැනසුම පිරුණු සිනහවෙන් ඉතිරෙන්න

පමා නැත අපට පෙම් සෙනිහසින් දැවටෙන්න..


පුදා පුන්සිසි කිරණ එහි සෙමින් කිමිදෙන්න

උදාවන වසන්තය සිත පුරා පිළිගන්න

හඹා යන මගෙහි පිරු පිං ඇතියි හමුවන්න

ලියා දෙමි මුළු හදින් "ආදරෙයි උතුරන්න".. 


මලානික රළු බිමෙහි ලහිරු මල් පුබුදන්න

නෙලා මල් සුසුවදින් දිවිතුරා නැහැවෙන්න

වලා මැද තනි වුවද තව හැකියි ඉවසන්න

බලා ඉමි නුඹ නමින් පෙම් කවිය පබඳින්න..


හමා ගොස් සිසිලසින් දුක් සුසුම් හැරයන්න

මගේ මේ මුදු රහස සවනතට මුමුණන්න

උදා වන සැම දිනම සුවඳ දී සුපිපෙන්න

ගෙතූ පැදි නොතලමින් ඒ හදට පුදදෙන්න..~.~.....




සේයා රූ: වසන්තයේ රෝස මල් සුවඳ මැද
දුක සතුට ඔස්සේ ගලන 
ජීවිතයේ සමහර තප්පර....!
(SFU Rose garden Summer 2024) 





 

Saturday, July 27, 2024

තව ඉන්න සිතෙනා වැව් බැම්ම මත මා, හාදු තියමි සුළඟට තනියේ...~ ...💙🤍🖤

සඳ දිය වැටෙන්නට පෙර කඳු යාය පුරා.. 

පීදෙන කවි පොකුරු හෙමිහිට එකතු කරා.. 

ලං වී සෙමින සිත් පතුලට සෙනෙහෙ පුරා.. 

පෙම් සිත අවදි කෙරුවා මතකයම සොරා..


විටින් විට බැඳුනු පෙම් සුව රස දැනුනේ..

සිහින් රිදුම් නිති හද සූරා දිවුනේ..

දුරින් දුටුව නුඹ සතුටිනි හද පිරුණේ..

සිතින් බැඳිනි නොදැනිම පෙම් මුදු සිහිනේ.. 


ගං දිය සිහිල් හඩ නංවා බැස යනවා..

සංකා නැගී නුඹ නැති සිත දුක් වෙනවා...

මං තැනු මැදුරු මට නොදැනිම ගිලිහෙනවා..

ලං කර ගන්න සිතු නුඹ ඈතක යනවා...


දැවෙමින් සෙමින් සඳ රැළි මත ගං තෙරෙහි...

සිහිනෙන් මැදුරු මත රජු රැජිණිය ලෙසෙහි..

පවසින් මිදී උත්තම ආලය මතෙහි..

තනියෙන් දකිමි සතුටින සෙවනැලි පෙමෙහි..


සිතිවිලි දෙමින් හද වෙත පෙම නුදුටු තව..

විට විට පෙනේ සිසිලස තවරමින නව..

ලං වී නිතැත මුත් යන දුර වෙතට තව..

ලියුමට බැරිද මට නුඹ වෙත සිහින කව..


Photo: Buntzen lake south hiking trail ~

Wednesday, June 12, 2024

මට වගේම මේ තනිකම දැනෙනවාද නුඹට..

මල හිරු ගැබ තුරුලෙහි රූ මවනා කල         හැඩට

රන් රැස් මිහි මත ඇද උණුසුම් කල විට      හොරට         

මුළු ලොව සැනසුම සොයමින් සමුදෙන කල දිනට 

මට වගේම මේ තනිකම දැනෙනවාද             නුඹට

Figure: Burnaby mountain park (2024-06-10)