සඳ දිය සිසිල ගෙන දරුනගෙ මුහුණු දොවා
සෙනෙහස් විලෙහි සුපියුම් සුසුවඳම කවා
අප රජ කරන්නට දහදිය මුගුරු දවා
මව් පිය ගැන ගොතමි කව දිවි සුසුම හොවා...
දස මස කුසෙහි හොවමින් දුක් ගිනි මතෙහි
මුලු දිවි කර තබා ගත වියවුල් විලෙහි
බර දුනු අවිද පටලා සියුමැලි අතෙහි
කඳුලින් දිනුම සෙව්වා බලයෙනි ලෙයෙහි...
සයුරක් තරම් විදිමින් තද දුක් ගින්න
පවුරක් වෙමින් දිවි බර උහුලා ගන්න
සවියත් ඔවා දී හරි මග තුල යන්න
කඳුලක් නොවිණි ආ මග දෙදෙනම දුන්න...
අප දිවි සදන්නට නින්දා දැරුවෝය
අප කුස පිරෙන්නට බඩගිනි දැරුවෝය
අප ලොව මවන්නට රෑ නිදි වරුවෝය
අප රජ කරන්නට පෙරුමන් පිරුවෝය...
ගොරවන විදුලි කොටවන රුදු රැය වලදී
ලැම වෙත තදකරන් අප සැනසුම දිරිදී
පිරිමැද සෙමින හිස වැටි කදුලැලි පිසදී
වහලක් වුනා නුඹ කැඩි වහලට පිටදී...
කලුවර රැඳුනු දිවිතර දිරියෙන් දිව්වා
කලුවර නොවන දිවි අප වෙනුවෙන් සෙව්වා
ලද දිවි ලෙයද මස් දරු වෙනුවෙන් ගෙව්වා
දරනා කිරුළු පුතු මතු සිහිනෙන් මැව්වා...
දුන් දිවි කොහොම අප රන් මිල කරන්නට
පෙන්වූ දිවිය යමි නුඹ රජ කරන්නට
ඉඩ නැත තවත් අප වෙනුවෙන් හඩන්නට
මව් පිය රදුනි පින් බුදු බව ලබන්නට...
🙂♥️
ReplyDelete🤗🖤
Delete