සුන්දර ගෙතුම් වැල් යලි මිහිමත ඇදිලා
රන්වන් පාට සළු ඈ මෙවරත් ඇඳලා
පින්බර සිතුම් ගොන්නක් හද තුල පිරිලා
පන්හිඳ යලිත් පන ගත්තයි හිරි හැරලා
මිහිමත නොයෙක් පැහැ තුරු පත් රටා ඇදී
නොඉදුල් සියුම් මද නල සිසිලසින පිදී
ගලනා සිරින් නෙතු ඉවතට යන්න නොදී
පිපිලා වගෙයි මහදත් නව පැතුම් පොදී
හිරු දෙව් හොරෙන් ඇය වෙත පෙම් කොමල සලා
තුරු මත සියුම් රැස් නොරිදෙන පරිදි ගලා
පිනි බිඳු රනින් දිලිසී තරු පලස් උලා
ඇගෙ රූ සිරිය ඔහු තෙදසින් දෙගුණ කලා
සීතල මද නලෙහි තුරු පත් රංගනයේ
සියොතුන් මධුර ගී මැද සිරි වින්දනයේ
රසදුන් පිදුණු නෙත සිත මගෙ සංයමයේ
ගොළු විනි මමත් දැන් නම් පද නැත කවියේ
පොඩ්ඩක් දෙපල මේ දේ දැන් අහනවද
දෙව්ලෝ අසිරි මිහිතලයෙහි මවනවද
ලස්සන පැතුම් මල් හද විල පුරනවද
මගෙ තනිකමත් හොර රහසෙම මකනවද... 🥹🥹🙃😇

















