Sunday, September 14, 2025

Happiest Birthday, my forever love! ♡💗♡💗♡💗♡💗♡💗♡

To my twin brother, best friend, soulmate, forever love of my life, and my precious husband!! 💗💫😇👫😘😘😘

දොළොස් වසරක් සොදුරුතම මිතුදමෙහි බැඳ, පෙරුම් පුරූ සංසාර ගමනේ, හොදම කාලයේ හරිම අපුරුවට, ප්‍රේමණීයව මුණගැසුණු,  ඒ සුන්දරතම ආත්මයට ආදරයෙන්... 💖💖💖


සඳ වුනි නිසංසල රැය කිරි දහර හොවා 

හිරු වුනි තෙදින් මා වෙලමින සවිය මවා 

සිසිලෙනි නුඹේ සෙනිහස දිවි සුසුම් නිවා  

පිබිදුනි සෑම දින මා පෙම් විලෙහි දොවා... 


සැඟවුනි නුඹේ මුව මගෙ දිවි පිටු අතර

පබැදුනි සියුම් කවි විඳ නුඹ පෙම් දහර 

බැබලුණි සතුටු මල් දිවි සෝ දුක් අතැර 

කුමරුනි පුද කරමි දිවිතුරු හද මැදුර...


දොඩමලු වුනිද මිතු සෙනිහස මැද නිතර

මට සවි දුනිද සොහොයුරු බැම්මෙන් නිතර 

ලස්සන සිතෙහි බැඳ පෙම් මල් ඒ අතර  

සිටියද උපන් දා සිට අත අත නොහැර... 


යනතුරු මෙදිවි සවි දී නුඹ රැක ගනිමී 

නුඹ උණුසුමෙහි සැනසෙන්නට දින ගනිමී   

ඇදියන වලාවල උතුරන පෙම ලියමී   

සසරෙහි පුරා නුඹ ලැබුමට පින් පුරමී... 


සුබ උපන් දිනයක් වේවා!...~...

Happy 33rd Birthday my twin brother, best friend, soulmate, forever love of my life, and my precious husband! 💫💕

2025 - 09 - 15 (💗♡~ Happy 33rd to us! ~💗)

Thanks for coming into my life, and making it alive everyday, my forever handsome.! Love you ever, my precious husband!!!~ ♡♡♡♡♡♡


Sunday, February 2, 2025

සිසිර කුමරු ගෙන ආ ප්‍රේමණීයම තප්පර වලදී.. ~ ❄️💞

සීතල සියුම් සමයකි රුදු සැරෙන මිදී 

උණු කිරි කෝපි සුසුවද මදනලෙහි ඇදී  

යන්නට මතින් සුර සිරි මිහිමතින මිදී

සිසිරෙහි කුමරු හා පබදිමි මෙකව පැදී... 


ආසිරි කැවුණු මල් ලෙස හිම පියලි සලා 

මිහිලිය වටම දිලිසෙන සුදු පලස් එලා

මද නල එක්ව තාලෙට මුදු සුවය ගලා 

ඔහු ඒ සැනින් මිහිලොව සුර ලොවක් කලා...  

 

මිහිලිය තුටින් පොරවා ලද සුදු සේද

තුරුලිය මතින් හැඩ ලෙස අතුරායාද

කුමරුනි නුඹත් ඇගෙ කෝමල දුටුවාද 

ඈ මේ විලස කුමකට සැරසෙනවාද...


හිරු දෙව් හිමින් ඕ අතපය හිරි හැරලා

ඈ සුදු සේල සිප ගන්නට වෙර දරලා 

රැස් වැටි සේල පිණි හා දිලිසෙනු දැනිලා

ඇගෙ හද විලම නිකළැල් අදරින් පිරිලා...

 

කුමරුත් මිහිලියත් රස පෙම් කතාවක 

කොඳ මල් පිදුණු ලොව ඉමිහිරි සිනාවක 

දිලිසෙන ලොවම සතුටින් ගී ලතාවක

හැඟුමන් මගෙත් දැන් අමුතුම රටාවක... 


සුදු හිම සේල ඉන වට දවටා තුටින   

උණුසුම දැනෙන තුරු නුඹ වෙලමින තදින

සැනසුම විදින්නට දැගිලි බැඳ ගමින 

හිම යට සඟවලමි රස රහසක් සෙමින..  










සේයා රූ:  පමා උනත් 

සුන්දරත්වයෙන් අඩුවක් නොවූ 

ලස්සනම ලස්සන හිම පිරි සුරංගනා ලෝකය!~❄️☃️🌨️

(Winter captures from my lens 2025!)


Monday, January 6, 2025

නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...~..❣️❣️

සැඩ හිරු පොලොව සිප සමුදුරෙ ගිලියනවා

රත් පැහැ දියඹ මුදු තාලෙක නැළවෙනවා

සීතල සුළඟ රස රහසක් පවසනවා

සිත පුරවමින් නුඹ රුව මෙහි පිබිදෙනවා...  


දින සති කෙමෙන් හෙමිහිට ඉගිලී යනවා

නුඹ තව දුර නොමැති බව හද මුමුණනවා   

මගෙ පන නුඹත් හා රැව් පිලිරැව් දෙනවා  

නුඹ පෙම ගැනම සිතමින් මම සිනහෙනවා...


මා මින් පෙර නොවිඳි සවි දිවියට ලැබිලා 

පියමන් තනන ඉදිරියෙ පැතුමන් පිපිලා

දිලිසෙන රන් විමන් නුඹ ආලෙන් මැවිලා 

සැතපුම් දුරක අපි මල් වියනක් බැඳලා...   

සේයා රූ: ක්ෂිතජයෙන් එහා, 
සත් සමුදුරු දුරකින් සිටියද,
එදෙස බලමින් නුඹේ රුව සිත්තම් කරමි...🖌️✍️💌
නුඹේ උණුසුමේ සැනසෙන්නට දින ගනිමි! 💖🍀


Friday, October 18, 2024

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්!...~...❣️

දොළොස් වසරක් සොදුරුතම මිතුදමෙහි බැඳ, පෙරුම් පුරූ සංසාර ගමනේ, හොදම කාලයේ හරිම අපුරුවට, ප්‍රේමණීයව මුණගැසුණු,  ඒ සුන්දරතම ආත්මයට ආදරයෙන් මෙසේ ලියමි... ...~...✍️


දිවියෙම කඳුළු පිස හසකැන් පුබුදු කර  

මිහිරම දැනුණි සැම විටකම සෙනෙහෙ බර

සිතිවිලි පනදෙමින් සමුදුරු ගණන් දුර   

හද විල නිවුණි දිරි සැනසුම උරුම කර  


සිහිනෙන් ඇවිත් නුඹ දෝතින් තුරුළු කර

සිත යට සැඟවු පෙම් විල දොර විවර කර

නිති මා වෙලන කොඳ මල් පොදි එකතු කර 

මල් දම් ගොතමි මුදු පැතුමන් එකළු කර


පිණි මත ලහිරු සිසිලස රිසි ලෙස දැනුණා

සඳ දිය සිසිල අම සුව මුසු වී දැනුණා 

සුදු හිම වලා මැද නුඹ රණ හඬ ඇසුනා     

නුඹ පුන් හදෙහි උණුසුම දුරටම දැනුණා 


නුඹ උණුසුමෙහි හිනැහෙන්නට ඉවසන්නම් 

නුඹ වෙත ගොතන පෙම් මල් දම් සුරකින්නම් 

නුඹ ලැම පිරෙන ආලය දැක සැනසෙන්නම්

නුඹ වෙනුවෙන්ම සැම දින මා ඉපදෙන්නම්...~...

අවැසිම මොහොතේ මා ලෙන්ගතුව සෙනිහසින් වැලද ගත්, 
දිවියේ මෙතෙක් හමුවූ 
හොදම, ආදරණියම, ප්‍රේමණීයම හමුවීම නුඹයි.....💙🩵🤍      

Monday, September 30, 2024

මේ හේමන්තයේ ලස්සනම කාලයයි!..~.. 🍁🧡

සිසිලස කැවුණු මද නල මුදු ලතාවෙන 

මා දැක සිහින් ගී මුමුණා සිනාවෙන

හෙමන්තයෙහි සුසිනිදු සුව බෙදාගෙන

හෙමිහිට ඇදුනි හොරැහින් ඇස් ගසාගෙන...


දෙපසෙහි රනින් තුරු විසිතුරු සේල හැඳ

මා යන තුරුම අතු විහිදා සෙවන බැඳ

ඕ පත් මිහිමතෙහි අතුරා රටා ඇඳ

මට පෙර නොවිඳි සිසිලක් නම් දැනුනි අද...


වස්සානයෙහි මල් තවමත් සිනැහෙනවා

ලස්සන සිතුම් වල මගෙ හද පියඹනවා

සත් සමුදුරු ගෙවන් මම අද ඉපිලෙනවා   

රත්තරනේ සිහින වල නුඹ රජවෙනවා... 

 

හිරු රැස් සෙමින් මුදු සිහිනෙට පන දෙන්න  

තුරු මත සුදිලි පිනි බිඳු තව දිලිසෙන්න

දින සති හනික තාලෙට ඉගිලී යන්න 

මගෙ දෙව් කුමරු වෙත මා අරගෙන යන්න... 🙃🩶  

 සේයා රූ: ලස්සනම දේවල් එන්නේ ඉස්සරහට බවත්,
හොදම දේවල් එන්නේ අන්තිමට බවත්,
හරිම අපූරුවට කියාදෙන, 
වසන්තය හාම එළබෙන හෙමන්තයේ ගෙවෙන,
සුන්දරම පිය සටහන්....~...
(Rainy weather with the onset of Fall with her magical beauty!)    



Friday, September 20, 2024

පියුම් දහසක් පිපුණු පොකුණක් හමුවුනොත් මඟ රැදෙන්න...~..❤❤

වැටුනට වැහි කෝඩ ඉදහිට තෙමෙන්නට 

පොළොවට වියලි පණ නොතිබිණි දැනෙන්නට

හදකට මිහිරි නැති මුත් යලි හඩන්නට  

සිතයට සැඟවු මල් ගෙන එමි පිපෙන්නට..... 


සුසුවඳ කැවුණු කොඳ මල් පොදි මටද හොරා

හෙමිහිට හදෙහි පතුලම වෙලගමින සොරා  

මගෙ හද විලම අමුතුම සතුටකින පුරා

සමුදුරු ගෙවා මුදු පැතුමක් ජනිත කරා.... 

සේයා රූ: හැඟුම් ගොඩකට පන දෙමින්, 
සැතපුම් දහස් ගණනක දුර ඉදන්,
ජිවිතේ පළමු වරට මා වෙනුවෙන් කෙනෙක් ගොඩක් මහන්සියෙන් දුන්,
වසන්තයේ ලස්සනම රෝස පාට පිරුණු, 
ලස්සනම ලස්සන,
ඒ වටිනාම මල් පොකුර!
Poem(s) to be continued! ❤
(2024-09-15)



Monday, September 16, 2024

මව් පිය රදුනි පින් බුදු බව ලබන්නට...~...💗💗

සඳ දිය සිසිල ගෙන දරුනගෙ මුහුණු දොවා

සෙනෙහස් විලෙහි සුපියුම් සුසුවඳම කවා

අප රජ කරන්නට දහදිය මුගුරු දවා

මව් පිය ගැන ගොතමි කව දිවි සුසුම හොවා...


දස මස කුසෙහි හොවමින් දුක් ගිනි මතෙහි

මුලු දිවි කර තබා ගත වියවුල් විලෙහි 

බර දුනු අවිද පටලා සියුමැලි අතෙහි

කඳුලින් දිනුම සෙව්වා බලයෙනි ලෙයෙහි...


සයුරක් තරම් විදිමින් තද දුක් ගින්න 

පවුරක් වෙමින් දිවි බර උහුලා ගන්න

සවියත් ඔවා දී හරි මග තුල යන්න

කඳුලක් නොවිණි ආ මග දෙදෙනම දුන්න...


අප දිවි සදන්නට නින්දා දැරුවෝය 

අප කුස පිරෙන්නට බඩගිනි දැරුවෝය 

අප ලොව මවන්නට රෑ නිදි වරුවෝය 

අප රජ කරන්නට පෙරුමන් පිරුවෝය... 


ගොරවන විදුලි කොටවන රුදු රැය වලදී

ලැම වෙත තදකරන් අප සැනසුම  දිරිදී

පිරිමැද සෙමින හිස වැටි කදුලැලි පිසදී

වහලක් වුනා නුඹ කැඩි වහලට පිටදී...


කලුවර රැඳුනු දිවිතර දිරියෙන් දිව්වා 

කලුවර නොවන දිවි අප වෙනුවෙන් සෙව්වා 

ලද දිවි ලෙයද මස් දරු වෙනුවෙන් ගෙව්වා 

දරනා කිරුළු පුතු මතු සිහිනෙන් මැව්වා... 


දුන් දිවි කොහොම අප රන් මිල කරන්නට

පෙන්වූ දිවිය යමි නුඹ රජ කරන්නට

ඉඩ නැත තවත් අප වෙනුවෙන් හඩන්නට 

මව් පිය රදුනි පින් බුදු බව ලබන්නට...

සේයා රූ: අපි එනකන් මඟ බලන් ඉන්න,
අපේ අම්මයි තාත්තයි!💗💗
(2023 - 09 -12)