Monday, September 9, 2024

මටත් කවියක් ලියන්න..~.. ❤❤

නොයමි තව දුර ඈත තනියම

නැවුම් පැතුමකි පිපෙන්න  

සඳවතිය මේ කවිය පබැදුණු 

සෙමින් ඔහු වෙත කියන්න 


අපේ මග දිග තුරුලතාවන් 

මලින් බර වනු දකින්න 

පැතුම් මල් වල සුපෙම් කවියක්

සෙමින් අරබමු ගොතන්න 

පියුම් දහසක් කුමට මට ඇත 

නුඹේ සෙවනෙහි රැදෙන්න 

රජුනි මට හැක දිවිතුරාවට 

සෙනිහසේ කවි ලියන්න 


සුසුම් නැති තුටු මලින් සැරසුණු

මගක් සිත්තම් කරන්න  

යමුද දෑගිලි බැඳී හෙමිහිට

සිහින ලොව පද ගොතන්න...!! ~💗

සේයා රූ: ජීවිතයේ අවැසිම මොහොතේ, 
හිතුවාටත් වඩා ගොඩක් ලොකුවට,
මහමෙරක් සේම සෙනිහසින් බැඳෙමින්,
ලස්සන හේමන්තයේ ලස්සනම පාටින්,
මගේ ජීවිතයත් පාට කර,   
දිවි තෙරහි තිබු ලොකුම හිස් තැන පිරවූ,
ඒ විශාලම හදවතට..💗..~
(Transitioning Fall with it's awesome colors!)   

Tuesday, August 27, 2024

වරෙන් හීන් සැරේ රිදී වලාවේ..🎵..~..~..

කවුළුව තුලින් සුදු සඳ රැස් ගෙට වැදිලා

කළුවර කපා බිම විසිතුරු රූ ඇදිලා

හද විල නිසංසල පැතුමකි දිග හැරිලා 

කවිසිත මගේ අද මට නොදැනිම පිපිලා... 


කෙහෙරැලි සෙමින් නළවා ගී ලතාවෙන 

මද නල හොරෙන් මා ගත කිති කවාගෙන

ඕ ගෙන පැමිණි මල් සුවඳත් බෙදාගෙන 

රිසි සේ ඇදෙයි සැඟවුණු මල් සොයාගෙන....

 

තරු පොදි සුපුන් සඳ වටකර රටා අදී 

සුදු හිම වලා යයි කම්මැලි කමින ඇදී    

කෝ සඳ සාවි අන්නර ඇය සුවට නිදී

මේ සිරි විඳින්නට මට එක රැයක් මදී....  


තුරු හිස මුදුන් සඳ කිරණෙහි නැහැවෙනවා

රෑ මනමාලියන් උණුසුමෙ සිනැහෙනවා  

අමුතුම සිතුම් දැන් හද විල කළඹනවා 

මට නුඹ ගැනම කවි ලියුමට සිත දෙනවා....


සඳ දිය වැටුණු මිදුලෙහි තුරු සෙවනැල්ලේ

මුළු ලොව නිහඩ විට දඟ කල පවනැල්ලේ

දෑඟිලි බැඳන් හෙමිහිට අපි නිවහැල්ලේ 

මේ සිරි විඳිමු දවසක පෙම් සැනසිල්ලේ....


කොඳුරන රැහැයියනි මදකට නවතින්න  

සැඟවෙන හා පැටව් මෙදෙසට දුව එන්න 

ඇදියන වලාවක නැග හනිකට ඔන්න         

මම දෙන පැතුම ගෙන සමුදුරු හඹයන්න....🖤🖤🖤


සුනිල් ශාන්තයන්ගේ 'වරෙන් හීන් සැරේ' ගීතයට උපහාරයක්ම වේවා! 🌃🙏

(මේ කවි පෙලට ඒ නම යෙදුවේ යම්කිසි ව්‍යංගයකටයි. උපුටා ගැනීමක් ලෙස නොසිතන්න!🙃😇)










සේයා රූ: මා තවත් දිගු වූවා නම් කියා සිතන, 

නමුත් දිගු වනවාට අකමැතිම, 

නිහඩ, සුන්දරම, හුදකලා වූ, 

විශ්වයේ සුන්දරම රටා මවන රාත්‍රීන්!

(Night captures from my lens)     




Saturday, August 17, 2024

ලියා දෙමි මුළු හදින් "ආදරෙයි උතුරන්න!" ~ ❣️

(සීතල සුළං පොදක අමුණා එවන්නම්...💌, කාල මේඝම්බරගේ තාලෙන්...~💕) 


අවාරෙක පිපෙන කොඳ මල් සුවඳ විඳගන්න

බලා ඉමි එන තුරුම නුඹේ ළඟ හිනැහෙන්න

හමා යන මද සුළඟ දැන් ඉතින් අහගන්න

ලියා දෙන පණිවිඩය ඔහු වෙතට ගෙනියන්න.. 


බිඳී ගිය පෙම් සුසුම් එකින් එක පනගන්න

රැඳී ඇති මතක පොදි වලට දැන් සමුදෙන්න

ඇදී එන සිහින වෙත තව වරක් ඉඩදෙන්න

අමාවක සඳ කුමරි උණුසුමින් සිපගන්න.. 


විඩාබර සිත සියුම් වචනෙකින් සනසන්න

මලානික මුව කුසුම් දහසකින් පුබුදන්න

සදා සැනසුම පිරුණු සිනහවෙන් ඉතිරෙන්න

පමා නැත අපට පෙම් සෙනිහසින් දැවටෙන්න..


පුදා පුන්සිසි කිරණ එහි සෙමින් කිමිදෙන්න

උදාවන වසන්තය සිත පුරා පිළිගන්න

හඹා යන මගෙහි පිරු පිං ඇතියි හමුවන්න

ලියා දෙමි මුළු හදින් "ආදරෙයි උතුරන්න".. 


මලානික රළු බිමෙහි ලහිරු මල් පුබුදන්න

නෙලා මල් සුසුවදින් දිවිතුරා නැහැවෙන්න

වලා මැද තනි වුවද තව හැකියි ඉවසන්න

බලා ඉමි නුඹ නමින් පෙම් කවිය පබඳින්න..


හමා ගොස් සිසිලසින් දුක් සුසුම් හැරයන්න

මගේ මේ මුදු රහස සවනතට මුමුණන්න

උදා වන සැම දිනම සුවඳ දී සුපිපෙන්න

ගෙතූ පැදි නොතලමින් ඒ හදට පුදදෙන්න..~.~.....




සේයා රූ: වසන්තයේ රෝස මල් සුවඳ මැද
දුක සතුට ඔස්සේ ගලන 
ජීවිතයේ සමහර තප්පර....!
(SFU Rose garden Summer 2024) 





 

Saturday, July 27, 2024

තව ඉන්න සිතෙනා වැව් බැම්ම මත මා, හාදු තියමි සුළඟට තනියේ...~ ...💙🤍🖤

සඳ දිය වැටෙන්නට පෙර කඳු යාය පුරා.. 

පීදෙන කවි පොකුරු හෙමිහිට එකතු කරා.. 

ලං වී සෙමින සිත් පතුලට සෙනෙහෙ පුරා.. 

පෙම් සිත අවදි කෙරුවා මතකයම සොරා..


විටින් විට බැඳුනු පෙම් සුව රස දැනුනේ..

සිහින් රිදුම් නිති හද සූරා දිවුනේ..

දුරින් දුටුව නුඹ සතුටිනි හද පිරුණේ..

සිතින් බැඳිනි නොදැනිම පෙම් මුදු සිහිනේ.. 


ගං දිය සිහිල් හඩ නංවා බැස යනවා..

සංකා නැගී නුඹ නැති සිත දුක් වෙනවා...

මං තැනු මැදුරු මට නොදැනිම ගිලිහෙනවා..

ලං කර ගන්න සිතු නුඹ ඈතක යනවා...


දැවෙමින් සෙමින් සඳ රැළි මත ගං තෙරෙහි...

සිහිනෙන් මැදුරු මත රජු රැජිණිය ලෙසෙහි..

පවසින් මිදී උත්තම ආලය මතෙහි..

තනියෙන් දකිමි සතුටින සෙවනැලි පෙමෙහි..


සිතිවිලි දෙමින් හද වෙත පෙම නුදුටු තව..

විට විට පෙනේ සිසිලස තවරමින නව..

ලං වී නිතැත මුත් යන දුර වෙතට තව..

ලියුමට බැරිද මට නුඹ වෙත සිහින කව..


Photo: Buntzen lake south hiking trail ~

Wednesday, June 12, 2024

මට වගේම මේ තනිකම දැනෙනවාද නුඹට..

මල හිරු ගැබ තුරුලෙහි රූ මවනා කල         හැඩට

රන් රැස් මිහි මත ඇද උණුසුම් කල විට      හොරට         

මුළු ලොව සැනසුම සොයමින් සමුදෙන කල දිනට 

මට වගේම මේ තනිකම දැනෙනවාද             නුඹට

Figure: Burnaby mountain park (2024-06-10)

Thursday, May 16, 2024

කවි පද ගොතමි බර්නබි කඳු මුදුනෙ....සිට

සීතල සුළං මොනවද මුමුණනු............ඇසුනා

ගී සර වැයුම් මිහිමත පැතිරෙනු........දැනුනා  

ඒ සිසිලසට මුදු මල් සුසුවඳ.................බැඳුනා 

මා පය සෙමින් මේ සිරි දැකුමට..........ඇදුනා 


අවසර නැතිව සිප ගත් නල විඳ .........සොඳට  

දිනයෙම වෙහෙස පා කර හැරියෙමි.....දුරට

නිවහල් සිතකි තව සතුටක් කොහිද......මට 

කවි පද ගොතමි බර්නබි කඳු මුදුනෙ......සිට


වෙනදා නුදුටු පැහැ මල් ගොමු නෙත..ගැටිණි

මල් පෙති මැදින් රන් හිරු රැස් බිම.....වැටිණි

කොළ පැහැ පොලෝ මත රූ සිත්තම්..ඇදිනි

මද නල සෙමින් ඒ රූ  තව හැඩ........කෙරුණි 


නිලඹර සුදු වලා ඕ සියුමැලි................ගමනේ

හිරු දෙවි නොසඟවා තාලයකිනි......ඇදුනේ

රත් පැහැ  ගගන කඳු පෙළ අතරින් ..දිලුනේ 

හිරු දෙවි තෙදස් දැන් මට මදි බව....සිතුනේ 


මා සිත මිහිලියත් හා දෑගිලි ...............බැඳලා 

මේ සුරලොවෙහි මම යමි සැනසුම.සොයලා

පීදෙන කවි රටා ඈ තනු හා................බැඳිලා   

මා තනි මකයි ඉමිහිරි රස ගී..............ගයලා   


සෙමින් සඳ කුමරි කඳු අතරින් .........එබිලා 

නිසංසල ලොවම සඳ කිරණෙහි ......ගිලිලා

ඉතින් තව කිමද නුඹ සැඟවී ..............ඉදලා 

හදින් මා වෙලනු සිත් සැනසුම..........පුරලා  

















Photos: ~ Beautiful SFU in Spring from my lens ~


Sunday, March 10, 2024

මේ දුක් පිරුණු සසරට යලි නොම එන්න....🙏🙏

සහසක් පැතුම් මල් සිත් කොන    හොවාගෙන

දහසක් කඩොලු මත දිවි ගඟ            හඹාගෙන

පැතු දිවි පියුම් එන විටදිම                     පිපීගෙන 

කඳුලක් නතර විද බැඳි ලොව             කඩාගෙන.... 


ගණදුර කපා සුදු සඳ රැස්                    පැතිරෙද්දී 

දවසෙක වෙහෙස බැඳි ඒ නෙතු            පියවෙද්දී

සිව් දරු සෙනේ මැද මව් හා                සැතපෙද්දී

අමනුස් සිතකි රුදු කෝ ලෙය                   දිදුලද්දී.... 


කවියට වචන නැත උණු දේ                 පවසන්න 

පපුතුර සිතුම් හිර වී බැහැ පන                ගන්න

උණුසුම නැතිවිනිද මව් ඇකයෙන්             දුන්න 

කිරි කැටි දූ හටත් දැනුනද ලෝ                 ගින්න....


රත් පැහැ අහස සිය සෝ දුක්         කියනකොට

පණ නල අහිමි විනි අසරණ දිවි                  සයට 

සිතුවිලි නතර වී ලොවෙහිම කඳුළු             කැට

අනියත බවම වැටහිණි දිවි තෙරෙහි           මට....


නිසසල පුතුනි හැකිනම් යලි          ඇහැරෙන්න  

නුඹ සිටි රෝස කැලයට දුව ගෙන            යන්න

ලොව හරි සැරයි බැහැ සුර දරු හට         ඉන්න 

මේ දුක් පිරුණු  සසරට යලි නොම           එන්න....  


සුන්දර දරු සිනා උරුමව නැති                       වීද 

කෙලි සෙල්ලම් බඩුත් නිවසෙහි තනි            වීද 

අදහනු නොහැකි මුත් කඳුලම හිමි                වීද  

බියකරු සසර ගැන ලොවටම                 පැවසීද.....  



Photos from Hilda Jayewardenaramaya GoFundme Account.