සීතල සියුම් සමයකි රුදු සැරෙන මිදී
උණු කිරි කෝපි සුසුවද මදනලෙහි ඇදී
යන්නට මතින් සුර සිරි මිහිමතින මිදී
සිසිරෙහි කුමරු වෙත ලියැවිණි මෙකව පැදී...
ආසිරි කැවුණු මල් ලෙස හිම පියලි සලා
මිහිලිය වටම දිලිසෙන සුදු පලස් එලා
මද නල එක්ව තාලෙට අම රසය ගලා
ඔහු ඒ සැනින් මිහිලොව සුර ලොවක් කලා...
මිහිලිය තුටින් පොරවා ලද සුදු සේද
තුරුලිය මතින් හැඩ ලෙස අතුරායාද
කුමරුනි නුඹත් ඇගෙ කෝමල දුටුවාද
ඈ මේ විලස කුමකට සැරසෙනවාද..
හිරු දෙව් හිමින් ඕ අතපය හිරි හැරලා
ඈ සුදු සේල සිප ගන්නට වෙර දරලා
රැස් වැටි සේල පිණි හා දිලිසෙනු දැනිලා
ඇගෙ හද විලම නිකළැල් අදරින් පිරිලා...
කුමරුත් මිහිලියත් රස පෙම් කතාවක
කොඳ මල් පිදුණු ලොව ඉමිහිරි සිනාවක
දිලිසෙන ලොවම සතුටින් ගී ලතාවක
හැඟුමන් මගෙත් දැන් අමුතුම රටාවක...
🥺♥️
ReplyDelete