කවුළුව තුලින් සුදු සඳ රැස් ගෙට වැදිලා
කළුවර කපා බිම විසිතුරු රූ ඇදිලා
හද විල නිසංසල පැතුමකි දිග හැරිලා
කවිසිත මගේ අද මට නොදැනිම පිපිලා...
කෙහෙරැලි සෙමින් නළවා ගී ලතාවෙන
මද නල හොරෙන් මා ගත කිති කවාගෙන
ඕ ගෙන පැමිණි මල් සුවඳත් බෙදාගෙන
රිසි සේ ඇදෙයි සැඟවුණු මල් සොයාගෙන....
තරු පොදි සුපුන් සඳ වටකර රටා අදී
සුදු හිම වලා යයි කම්මැලි කමින ඇදී
කෝ සඳ සාවි අන්නර ඇය සුවට නිදී
මේ සිරි විඳින්නට මට එක රැයක් මදී....
තුරු හිස මුදුන් සඳ කිරණෙහි නැහැවෙනවා
රෑ මනමාලියන් උණුසුමෙ සිනැහෙනවා
අමුතුම සිතුම් දැන් හද විල කළඹනවා
මට නුඹ ගැනම කවි ලියුමට සිත දෙනවා....
සඳ දිය වැටුණු මිදුලෙහි තුරු සෙවනැල්ලේ
මුළු ලොව නිහඩ විට දඟ කල පවනැල්ලේ
දෑඟිලි බැඳන් හෙමිහිට අපි නිවහැල්ලේ
මේ සිරි විඳිමු දවසක පෙම් සැනසිල්ලේ....
කොඳුරන රැහැයියනි මදකට නවතින්න
සැඟවෙන හා පැටව් මෙදෙසට දුව එන්න
ඇදියන වලාවක නැග හනිකට ඔන්න
මම දෙන පැතුම ගෙන සමුදුරු හඹයන්න....🖤🖤🖤
සුනිල් ශාන්තයන්ගේ 'වරෙන් හීන් සැරේ' ගීතයට උපහාරයක්ම වේවා! 🌃🙏
(මේ කවි පෙලට ඒ නම යෙදුවේ යම්කිසි ව්‍යංගයකටයි. උපුටා ගැනීමක් ලෙස නොසිතන්න!🙃😇)
සේයා රූ: මා තවත් දිගු වූවා නම් කියා සිතන,
නමුත් දිගු වනවාට අකමැතිම,
නිහඩ, සුන්දරම, හුදකලා වූ,
විශ්වයේ සුන්දරම රටා මවන රාත්‍රීන්!
(Night captures from my lens)