සඳ දිය වැටෙන්නට පෙර කඳු යාය පුරා..
පීදෙන කවි පොකුරු හෙමිහිට එකතු කරා..
ලං වී සෙමින සිත් පතුලට සෙනෙහෙ පුරා..
පෙම් සිත අවදි කෙරුවා මතකයම සොරා..
විටින් විට බැඳුනු පෙම් සුව රස දැනුනේ..
සිහින් රිදුම් නිති හද සූරා දිවුනේ..
දුරින් දුටුව නුඹ සතුටිනි හද පිරුණේ..
සිතින් බැඳිනි නොදැනිම පෙම් මුදු සිහිනේ..
ගං දිය සිහිල් හඩ නංවා බැස යනවා..
සංකා නැගී නුඹ නැති සිත දුක් වෙනවා...
මං තැනු මැදුරු මට නොදැනිම ගිලිහෙනවා..
ලං කර ගන්න සිතු නුඹ ඈතක යනවා...
දැවෙමින් සෙමින් සඳ රැළි මත ගං තෙරෙහි...
සිහිනෙන් මැදුරු මත රජු රැජිණිය ලෙසෙහි..
පවසින් මිදී උත්තම ආලය මතෙහි..
තනියෙන් දකිමි සතුටින සෙවනැලි පෙමෙහි..
සිතිවිලි දෙමින් හද වෙත පෙම නුදුටු තව..
විට විට පෙනේ සිසිලස තවරමින නව..
ලං වී නිතැත මුත් යන දුර වෙතට තව..
ලියුමට බැරිද මට නුඹ වෙත සිහින කව..